සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක රංගන ශිල්පී චරිත් අබේසිංහට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රථම, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණ සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් සිය දැඩි අප්‍රසාදය සහ නොසතුට පළ කර තිබේ. චරිත් අබේසිංහ අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වීමටත් පෙර, පක්ෂ නායකයා පාර්ලිමේන්තුවේදී ඔහුට එරෙහිව “ගත හැකි ඉහළම පියවර ගන්නා බව” ප්‍රකාශ කිරීම සදාචාරාත්මක නොවන බව ඔවුහු පෙන්වා දෙති.

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, නායකත්වයේ මෙම ඒකපාර්ශ්වික සහ හදිසි තීරණ හේතුවෙන් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් මේ වන විට දැඩි කලකිරීමට පත්ව නිද්‍රාශීලී වී ඇති බවයි. ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුත්තේ ඔහු වැරදිකරුවෙකු වූ පසුව බවත්, චරිත් අබේසිංහ තවමත් සැකකරුවෙකු පමණක් බවත් ක්‍රියාකාරීන් අවධාරණය කර සිටී.

චරිත් අබේසිංහ අත්අඩංගුවට ගත් සැණින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටත්, දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරීමටත් සජිත් ප්‍රේමදාස කටයුතු කළේය. මේ සම්බන්ධයෙන් පක්ෂයේ ජේෂ්ඨ නායකයෙකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, එල්ල වී ඇති චෝදනාවල බරපතළකම සලකා මෙම පියවර ගත් බවයි. කෙසේ වෙතත්, අදාළ සැකකරු නිර්දෝෂී වුවහොත් ඒ පිළිබඳව ඉදිරියේදී නැවත සලකා බලන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.