හිටපු බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි සහන තුනකට අදාළ නියෝග කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (01) ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී ඔහු කළ ඉල්ලීම් තුනම ලබා දිය නොහැකි බව අධිකරණය තීන්දු කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සුරේෂ් සලේ, තම නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් තුනක් කර තිබුණි. තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතුවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉවත් කරන ලෙසත්, තමාට පරිහරණය සඳහා පෑන් සහ කඩදාසි ලබා දෙන ලෙසත්, මහේස්ත්‍රාත් විනිසුරුවරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් එම ඉල්ලීම්වල සඳහන් විය.

මෙම කරුණු සලකා බැලූ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන, එම ඉල්ලීම් තුනම ඉටු කළ නොහැකි බවට නියෝග කළේය. එසේම, ඉදිරියේදී සුරේෂ් සලේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.