රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වන “FRIENDS” 4P අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් රටකජු නිෂ්පාදන ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි. ඊයේ (30) ගොවිජන මන්දිරයේදී මෙම වැඩසටහන පැවැත්විණි.

දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නැංවීම මඟින් ආනයන මත පවතින යැපීම අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අපේක්ෂාවයි. ගලේවෙල, නාඋල, මහියංගණය, රිදීමාලියද්ද සහ කොබෙයිගනේ යන ප්‍රදේශ ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා ගොවිතැන් කටයුතු යාන්ත්‍රිකකරණය සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය. රුපියල් ලක්ෂ 63ක පමණ වටිනාකමකින් යුත් මෙම ට්‍රැක්ටර් නිසි පරිදි භාවිත කිරීම සහ ඒවා පිළිබඳ අඛණ්ඩ පසුවිපරම් සිදු කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ආනයන ආදේශන නිෂ්පාදන ප්‍රවර්ධනය හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව පෙන්වා දුන් කේ.ඩී. ලාල්කාන්ත, නිෂ්පාදකයාගේ මෙන්ම පාරිභෝගිකයාගේ ද යහපත පිළිබඳ රජය අවධානය යොමු කරන බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ, අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගැනීම සහ නිෂ්පාදනවලට අගය එකතු කිරීම සඳහා රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. පසුගිය වසරේ මුං ඇට ආනයනය නතර කිරීමට හැකි වූවාක් මෙන් රටකජු ආනයනය ද අවම කර, ගොවීන් සඳහා ස්ථාවර වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.