සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාසගේ දේශපාලන උපදේශකයෙකු මෙන්ම සමීපතමයෙකු ලෙස සැලකෙන ලක්ෂ්මන් ෆොන්සේකාට එරෙහිව එම පක්ෂයේ ජේෂ්ඨ නායකයින් පිරිසක් දැඩි විරෝධයක් මතු කර තිබේ. පක්ෂයේ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පක්ෂය තුළ මේ වන විට බරපතළ මතගැටුමක් නිර්මාණය වී ඇති බවයි.
මෙම අර්බුදයට ආසන්නතම හේතුව වී ඇත්තේ එම පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ, පාතාල කල්ලි සාමාජිකයෙකුගෙන් කප්පම් ලබා ගැනීමේ චෝදනාව මත අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීමයි.
මෙවැනි පුද්ගලයින් පක්ෂයේ ඉහළ වගකීම් සහිත තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ ජේෂ්ඨයින් ලක්ෂ්මන් ෆොන්සේකාට ඍජුවම චෝදනා එල්ල කර ඇත. චරිත් අබේසිංහ ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ක්රියාකාරීත්වය පක්ෂයේ ප්රතිරූපයට හානිකර බව පෙන්වා දෙන ජේෂ්ඨ නායකයින්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් සිය දැඩි අප්රසාදය පක්ෂ නායකත්වය වෙත දන්වා ඇති බව වාර්තා වේ.