හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් විසින් පොලිස් ජීප් රථයක් හරස් කර පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අදාළව පවරා ඇති නඩුවේ තීන්දුව හෙට (25) බදුල්ල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගය පසුගිය මස 25 වැනිදා අවසන් කෙරුණු අතර, එහි තීන්දුව මෙලෙස හෙට දින ලබාදීමට නියමිතව තිබේ.

නඩු නිමිත්තට අනුව, 2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනකදී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ වාහනය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා උරණ වී ඇත. එහිදී සිය මඟ හරස් කළ පොලිස් ජීප් රථය නතර කරවා, එහි සිටි නිලධාරීන්ට පහරදී තුවාල සිදු කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මීට අමතරව, අදාළ අවස්ථාවේදී ගිනි අවි පෙන්වා පොලිස් නිලධාරීන්ට මරණ තර්ජනය එල්ල කළ බවට ද මෙම පිරිසට එරෙහිව කරුණු වාර්තා වී තිබුණි. මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ නඩුවේ අවසන් තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.