ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තමන් අපේක්ෂා කළ අධිකරණ අමාත්‍ය ධුරය අහිමි වූ විජේදාස රාජපක්ෂ, මේ වන විට උදය ගම්මන්පිල සමඟ එක්ව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෛරී සහ විකෘති දේශපාලන මතවාදයක් සමාජගත කරමින් සිටින බව වාර්තා වේ.

එවකට නවක මන්ත්‍රීවරයෙකු වූ අලි සබ්‍රිට අධිකරණ අමාත්‍ය ධුරය ලබාදීම හේතුවෙන් කලකිරීමට පත්ව සිටි විජේදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල සමඟ එක්ව දැන් කතෝලික පල්ලිය සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ඉලක්ක කර ගනිමින් නව ප්‍රචාරණයක් දියත් කර තිබේ.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් කතෝලික පියතුමන්ලා කිසිවෙකුටත් අනතුරක් සිදුනොවූ බවයි. එම මතය තවදුරටත් ඉදිරියට ගෙන යමින් උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වී ඇත්තේ කාඩිනල් මැල්කම් රංජිත් පියතුමන් බවය.

මෙම ප්‍රකාශ හරහා මොවුන් දෙදෙනා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකෘති අර්ථකථනයක් ලබාදීමට උත්සාහ කරන බව පැහැදිලි වෙයි. ප්‍රහාරයෙන් පීඩාවට පත් කතෝලික පූජ්‍ය පක්ෂය සහ බැතිමතුන් අපහසුතාවයට පත්වන අයුරින් දියත් කර ඇති මෙම ප්‍රචාරණයන්, ඔවුන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන්හි කොටසක් බව විචාරකයන් පෙන්වා දෙයි.