පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහ නඩුවේ පළමුවැනි විත්තිකරු වන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (23) තීන්දු කළේය.
සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි හෙවත් අබු සෙයිද් නැමැත්තා 2019 වසරේ නොවැම්බර් 11 වනදා සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා හමුවේ මෙම ප්‍රකාශය ලබාදී තිබුණි. අදාළ කටඋත්තරය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක්ද යන්න විමර්ශනය කිරීම සඳහා පැවැති ‘වෝයර් ඩයර්’ සත්‍යතා පරීක්ෂණයෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ විසින් රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව මෙම තීන්දුව ලබා දෙන ලදී. මෙම පාපෝච්චාරණය මගින් ප්‍රහාරය සැලසුම් කළ ආකාරය සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වන බැවින්, මෙය පැමිණිල්ලේ නඩුවට තීරණාත්මක සාක්ෂියක් වනු ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
මේ වන විට මෙම නඩුවේ විත්තිකරුවන් සිව්දෙනෙකුගේ පාපෝච්චාරණ ස්වේච්ඡාවෙන් ලබාදුන් ඒවා බව අධිකරණය තහවුරු කර ඇත. ඒ අනුව පළමුවැනි විත්තිකරුට අමතරව 4 වැනි විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා, 9 වැනි විත්තිකරු වන මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් සහ 11 වැනි විත්තිකරු වන කාලිබ් සමීර්ගේ ප්‍රකාශ ස්වේච්ඡාවෙන් ලබාදුන් ඒවා ලෙස පිළිගෙන තිබේ. කෙසේ වෙතත් 8 වැනි විත්තිකරුගේ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් නොවන බවට අධිකරණය මීට පෙර තීරණය කර තිබුණි. 18 වැනි විත්තිකරු වන රාසික් රාසා හුසේන්ගේ ප්‍රකාශය සම්බන්ධ නියෝගය ලබන 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර ඇතුළු නීතිඥ කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි. විත්තිය වෙනුවෙන් කනීල් මද්දුමගේ, ලෝරන්ස් ඇඩම්ස් හාලි සහ ලක්ෂ්මන් පෙරේරා ඇතුළු පිරිසක් පෙනී සිටිති.