හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පිල්ලෙයාන්ගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අසාද් මවුලානා එකට සිටින ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව අද (24) අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කළේය.
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම ඡායාරූපය ඉදිරිපත් කෙරිණි.
කෙසේ වෙතත්, අදාළ ඡායාරූපය ගත් ආකාරය පිළිබඳව තම සේවාදායකයාට මතකයක් නොමැති බව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙහිදී ප්‍රකාශ කළේය. දේශපාලඥයන් මුණගැසීමට නිරන්තරයෙන් විවිධ පුද්ගලයන් පැමිණෙන බැවින් එවැනි ඡායාරූපයක් සම්බන්ධයෙන් මතකයක් නොතිබීම පුදුමයට කරුණක් නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.
2017 වසරේදී ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී පැවැති සාකච්ඡාවකදී අසාද් මවුලානා මුණගැසුණු බවට වන ප්‍රකාශය ජනාධිපති නීතිඥවරයා ප්‍රතික්ෂේප නොකළ නමුත්, එම හමුවේදී සිදුවූ බව කියන කරුණු සාමාන්‍ය දේශපාලන කතාබහක් පමණක් බව අවධාරණය කළේය.
අසාද් මවුලානා විසින් චැනල් ෆෝ (Channel 4) නාලිකාවට කර ඇති ප්‍රකාශ සහ ඔහු ඉදිරිපත් කර ඇති දිවුරුම් පෙත්සමක කරුණු අධිකරණය හමුවේ කියවා පෙන්වූ ජනාධිපති නීතිඥවරයා, එම කරුණු කිසිසේත් පිළිගත නොහැකි මට්ටමේ පවතින බව සඳහන් කළේය. මෙරට අධිකරණය, නීතිඥවරුන් සහ ප්‍රකට දේශපාලන ඝාතන සම්බන්ධයෙන් අසාද් මවුලානා පරස්පර හා සැක සහිත කරුණු ඉදිරිපත් කර ඇති බවත්, එවැනි පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම ලැජ්ජාවට කරුණක් බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම විශ්‍රාමික විනිසුරුවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටු කිසිවක් මගින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති පසුබිමක, අසාද් මවුලානාගේ ප්‍රකාශ විශ්වාස කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස රොමේෂ් ද සිල්වා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති නීතිඥවරයාගේ මෙම කරුණු දැක්වීමට ප්‍රතිචාර දැක්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට අද ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන්, වැඩිදුර විභාගය ජූලි 06 සහ ජූලි 09 යන දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය.