මහජන බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන සිය ගණනක ණය මුදල් පැහැර හැරීම හේතුවෙන් දයා සමූහ ව්‍යාපාරයට අයත් ඇප දේපළ වෙන්දේසි කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමත් සමඟ, සමගි ජන බලවේගයේ (සජබ) මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සිදුකළ ප්‍රකාශයක් මෙරට දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. නීත්‍යානුකූල බැංකු ණය අයකර ගැනීමේ පරාටේ ක්‍රියාවලියක්, වත්මන් රජයේ දේශපාලන “රාජසන්තක කිරීමක්” (Expropriation) ලෙස අර්ථකථනය කරමින් ඔහු ප්‍රදර්ශනය කර ඇති බරපතළ නීතිමය සහ ආර්ථික නොදැනුවත්කම සමාජයේ දැඩි විවේචනයට බඳුන් වේ.

දේශපාලන වෛරය නිසා නීතිය අමතක කළ සජබ ප්‍රකාශකයා

ප්‍රසාද් සිරිවර්ධන සිය හඬ පටය මඟින් ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි:

“අද දවසේ මම දැක්කා ප්‍රවෘත්තියක් දයා සමූහ ව්‍යාපාරයේ ඉඩකඩම් දේපල රාජසන්තක කළා කියලා. මේ වගේ ගොබ්බ වැඩක් මේ ආණ්ඩුවට ඇරෙන්න වෙන කාටවත් කරන්න බෑ. ව්‍යාපාර කරන්න ගිය මිනිස්සු ව්‍යාපාර බිඳවට්ටගෙන ඒවා රාජසන්තක වීම අතිශෝක්තියට නගන රටක ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරන්න බය වෙනවා. ආයෝජකයෝ රටට එන්න බය වෙනවා.”

නීති සම්පාදකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන සිරිවර්ධන, මහජන බැංකු පනතේ 29D වගන්තිය යටතේ ක්‍රියාත්මක වන “ප්‍රසිද්ධ වෙන්දේසියක්” (Public Auction) සහ රජයක් විසින් දේපළ බලහත්කාරයෙන් පවරාගන්නා “රාජසන්තක කිරීමක්” අතර වෙනස හඳුනා ගැනීමට අපොහොසත් වීම හාස්‍යජනක කරුණකි.

මෙය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය විසින් සිදුකරන ලද දේශපාලන පළිගැනීමක් ලෙස පෙන්වීමට යාමෙන් ඔහුගේ පටු දේශපාලන චේතනාව හෙළිවේ. සැබවින්ම, මෙම ණය පැහැර හැරීම සහ ඊට අදාළ බැංකුවේ වෙන්දේසි තීරණය ගනු ලැබුවේ 2021 වසරේදී වන අතර, එය වත්මන් රජය බලයට පත්වීමට වසර කිහිපයකට පෙර සිදුවූවකි.

ණය පොලුකරුවන් රැකීමට “වෙන්දේසි” හංගන්නැයි ඉල්ලීම

සිරිවර්ධන ගේ ප්‍රකාශයේ ඇති වඩාත්ම බරපතළ සහ විනාශකාරී ආර්ථික තර්කය වන්නේ, රාජ්‍ය බැංකුවක් විසින් පැහැර හරින ලද ණය වෙනුවෙන් සිදුකරන වෙන්දේසි “රහසිගතව” කළ යුතු බවට කරන යෝජනාවයි. ඔහු පවසන්නේ මෙවැන්නකි:

“ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරලා පාඩු ලබපුවහම ඒවා රාජසන්තක කිරීම හංගලා කරන්න ඕන රටක ඒවා ප්‍රසිද්ධ කරන්න තරම් අනුරයි අනුරගේ මීහරක් ටිකයි විකෘති දේශපාලන දර්ශනයක් ගෙනියනවා.”

මෙම ප්‍රකාශය හරහා සජබ මාධ්‍ය ප්‍රකාශකවරයා රටට දෙන පණිවිඩය කුමක්ද? මහජනතාව තැන්පත් කළ මුදල් කෝටි ගණනින් ණයට ගෙන, ඒවා ආපසු නොගෙවා පොලු තබන “දේශපාලන ක්‍රෝනි මිතුරන්ගේ” වත්කම් වෙන්දේසි කිරීම රටට හොරෙන්, සඟවා සිදුකළ යුතු බවද?

නීතියට අනුව, “ප්‍රසිද්ධ වෙන්දේසියක්” (Public Auction) යනු උපරිම විනිවිදභාවයකින් යුතුව, පුවත්පත් දැන්වීම් මඟින් ප්‍රසිද්ධ කර වැඩිම ඉල්ලුම්කරුවන්ට විකිණිය යුතු ක්‍රියාවලියකි. එසේ කරන්නේ බැංකුවේ තැන්පත්කරුවන්ගේ මහජන මුදල් උපරිමයෙන් ආරක්ෂා කරගැනීමටය. එය “හංගලා” කිරීමට යෝජනා කිරීම මඟින් ප්‍රසාද් සිරිවර්ධන පෙනී සිටින්නේ මෙරට බැංකු පද්ධතිය බිඳ දැමූ, මහජන මුදල් මංකොල්ලකෑ මහා පරිමාණ ණය පොලුකරුවන් වෙනුවෙන් නොවේද?

ආයෝජක බිල්ලා සහ විකෘති ආර්ථික දර්ශනය

ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් බියවන්නේ නීතිය ක්‍රියාත්මක වන විට නොව, දේශපාලන හිතවත්කම් මත බැංකු පද්ධතියෙන් කෝටි ගණන් පොලු තබන වංචනිකයන් ආරක්ෂා කරන දේශපාලන ක්‍රමයක් පවතින විටය. ණය නොගෙවන ක්‍රෝනි ව්‍යාපාරිකයන්ගේ ඇප දේපළ වෙන්දේසි කිරීම “රාජසන්තක කිරීමක්” ලෙස හුවා දක්වමින් විදේශීය ආයෝජකයන් බිය ගැන්වීමට සජබය උත්සාහ කරන්නේ කාගේ උවමනාවටද?

ප්‍රසාද් සිරිවර්ධන ගේ මෙම ප්‍රකාශය මඟින් වත්මන් රජය විවේචනය කිරීමට වඩා සිදුව ඇත්තේ, ණය පොලුකරුවන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින ආකාරය සහ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ ඇති අශෝභන, විනිවිදභාවයකින් තොර ස්වරූපය රට හමුවේ නිරාවරණය වීමයි. මහජන මුදල් සුරැකීමට බැංකුවලට සහ අධිකරණයට ඇති අයිතිය “මීහරක් දර්ශනයක්” ලෙස හෑල්ලුවට ලක්කරන දේශපාලනඥයන්ගෙන් රටේ ආර්ථිකය සුරක්ෂිත වේ යැයි සිතීම උගහටය.

සටහන |Sachith Liyanage