නිරිතදිග මෝසම් වැසි සමඟ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී එළඹුණු තීරණවලට අනුව, එළඹෙන ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයිනේ වඩාත් අවදානම් සහිත ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි සුවිශේෂී ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මීට අමතරව, සියලුම රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන අනුගමනය කළ යුතු හදිසි මර්දන ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් වහාම නිකුත් කිරීමට ද මෙහිදී පියවර ගැනිණි.
මෙම මර්දන කටයුතු ක්‍රමවත්ව අධීක්ෂණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් විශේෂ අධීක්ෂණ ඒකකයක් පිහිටුවීමට තීරණය වූ අතර, මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩි කරන ලෙසට ද උපදෙස් ලැබිණි. දැනට ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ‘ප්‍රජා ශක්ති’ සහ මහජන ආරක්ෂක කමිටු මෙම ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කරගැනීම රජයේ අපේක්ෂාවයි.
පාසල්, කර්මාන්තශාලා සහ ආගමික ස්ථාන ප්‍රමුඛව ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බැවින්, එම ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු අතර, වරින් වර උද්ගත වන මෙම වසංගත තත්ත්වයට ස්ථිර විසඳුම් සෙවීමේ දිගුකාලීන ප්‍රතිපත්තිමය සැලසුම් පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යයනය කෙරිණි.
මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ප්‍රධානී එස්. පී. සී. සුගීෂ්වර ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සහ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීහු සහභාගී වූහ.