ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර නිල හමුවක් ඊයේ (20) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම පක්ෂ මට්ටමින් පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.

එළඹෙන ජූලි මස 01 වන දිනට යෙදී ඇති චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය පිළිබඳව ටිල්වින් සිල්වා දැනුවත් කළ චීන තානාපතිවරයා, එම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම වෙනුවෙන් කොළඹදී සංවිධානය කරනු ලබන නිල උත්සවයට සහභාගී වන ලෙස ඔහුට ආරාධනා කළේය.

මීට අමතරව, චීනය තුළ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාධරයන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන අධ්‍යාපනික සහ පුහුණු වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීනය ලබා දෙන සහයෝගය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම දෙපාර්ශවයම අවධාරණය කළහ.

මෙම හමුව සනිටුහන් කරමින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් විසින් රචිත ‘චීනයේ ආණ්ඩුකරණය’ (The Governance of China) කෘති මාලාවේ පස්වන වෙළුමේ පිටපතක් තානාපතිවරයා විසින් ටිල්වින් සිල්වා වෙත පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති යැන්වෙයි චු, චීන තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක මෙයි ජිනග් සහ ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර අංශය නියෝජනය කරමින් නීතිඥ කල්පනා මධුභාෂිණී ද සහභාගී වූහ.