වත්මන් රජය ශක්තිමත් ජනවරමක් සහිතව රට මෙහෙයවද්දී, ඊට මුහුණ දිය නොහැකිව සුණුවිසුණු වී ඇති විපක්ෂය මේ වන විට හාස්‍යජනක “සංදර්ශන” මාලාවක නිරත වෙමින් සිටියි. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහභාගීත්වයකින් තොරව අටවා ගැනීමට උත්සාහ කරන “ඒකාබද්ධ විපක්ෂය” මේ වන විට නායකයන් නැති අනාථ කඳවුරක් බවට පත්ව ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මෙම ව්‍යාපෘතිය මෙහෙයවන සුළු පක්ෂ කිහිපයක්, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි දේශපාලනිකව ප්‍රතික්ෂේප වූ චරිත සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහය පවා විපක්ෂ අභ්‍යන්තරයේම දැඩි පිළිකුලට ලක්ව තිබේ. “අපේ චූන් අපිට චූන්” පන්නයේ රැස්වීම් තබමින් ජනතාව නොමඟ යැවීමට මොවුන් උත්සාහ කළ ද, විපක්ෂයේ ශක්තිය වර්ධනය කිරීම වෙනුවට මේ වන විට සිදුව ඇත්තේ ඉතිරිව ඇති කැබලි ටික ද වෙන් වී යාමයි.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන නායකයන් දෙපළ එක්සත් කිරීමට තිරය පිටුපස විවිධ “ඩීල්” ක්‍රියාත්මක වුවද, එම උත්සාහයන් සියල්ල සජිත් ප්‍රේමදාසගේ මුරණ්ඩු ස්ථාවරය හමුවේ ව්‍යර්ථ වී ඇත. තොරතුරු වාර්තා වන අන්දමට, රනිල් වික්‍රමසිංහ ද දැන් සජිත් කෙරෙහි බලාපොරොත්තු අත්හැර දමා තිබේ. ඔහු සිය සමීපතමයන් හමුවේ පවසා ඇත්තේ “අහංකාර” සජිත් ප්‍රේමදාස සමඟ සන්ධානගත වීමට තවදුරටත් කාලය නාස්ති කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි.
රනිල් වික්‍රමසිංහ මේ වන විට බලා සිටින්නේ සජිත්ගේ පක්ෂය අභ්‍යන්තරයෙන්ම පුපුරා යන තෙක්ය. තීරණාත්මක මොහොතකදී සජිත් සමඟ සිටින පිරිස තමන් වෙත ඇදී එනු ඇතැයි යන “සූදුවක” ඔහු නිරතව සිටියි. රනිල්ගේ මෙම ප්‍රකාශයත් සමඟම, එක්සත් ජාතික පක්ෂය තුළ මෙතෙක් කල් සජබය සමඟ සමගි වීමට වෙහෙසුණු පිරිස් ද අන්ත අසරණ වී සිය උත්සාහයන් අත්හැර දමා තිබේ. අවසානයේදී සිදුව ඇත්තේ, ආණ්ඩුවේ ශක්තිමත් ගමන ඉදිරියේ විපක්ෂය තමන්ටම වළ කපා ගනිමින් සිටින හාස්‍යජනක දර්ශනයක් රට හමුවේ ප්‍රදර්ශනය වීමයි.