දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය. සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය මෙම අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කර ඇති අතර, සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක් ද ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වී තිබේ. එම දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, තම නිල බලය භාවිත කරමින් හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කොට රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබාගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර ඇත.