භේදයකින් තොරව සෑම දරුවෙකුටම නවීන ලෝකයේ අවස්ථා විවෘත කර දෙමින්, ඔවුන්ගේ අනාගත සිහින කරා විශ්වාසදායී ලෙස ගමන් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ මූලික ඉලක්කය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අද (18) සිදු කළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාව අතරතුර කුරුණෑගල ශාන්ත බර්නදෙත් ආදර්ශ මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

මෙහිදී 2025 වසරේ විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම්වලින් දක්ෂතා පෙන්වූ සිසු සිසුවියන් ඇගයීමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, විද්‍යාලයේ නිල පුවත්පත වන “ආදර්ශ ප්‍රභා” එළිදැක්වීමට ද සහභාගී වූවාය.

අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළේ, රජය අපේක්ෂා කරන්නේ දරුවන්ගේ සතුට, ආදරය සහ රැකවරණය තහවුරු කෙරෙන පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමට බවයි. රටේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන පසුබිමක, ගෝලීය හා කාලගුණික අභියෝගයන්ට මුහුණ දීම සඳහා සාමූහිකත්වය අත්‍යවශ්‍ය බව ද ඇය පෙන්වා දුන්නාය.

“අපේ සැලසුම හුදු විෂයමාලා සංවර්ධනයට පමණක් සීමා වූවක් නොවේ. අධ්‍යාපනය තුළ මානව සම්පත් සහ යටිතල පහසුකම් දියුණු කරමින් දරුවන්ට අලුත් ලෝකය දිනා ගැනීමට අවශ්‍ය පුළුල් මගපෙන්වීමක් ලබා දීම අපේ අපේක්ෂාවයි. ඩිජිටල්කරණය, නව විෂයන් හඳුන්වා දීම සහ ගුරු පුහුණු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම හරහා ගුණාත්මක අධ්‍යාපන අවස්ථා උදා කිරීමට රජය කැපවී සිටිනවා,” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

නිරීක්ෂණ චාරිකාව යටතේ ශාන්ත බර්නදෙත් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට සහ මහව රිදීබැඳිඇල්ල ගජනැග්ගම මහා විද්‍යාලයට ද පැමිණි අග්‍රාමාත්‍යවරිය, එහි ගුරු මණ්ඩලය සමඟ සුහදව සාකච්ඡා කළාය. විශේෂයෙන්ම දුෂ්කරතා මධ්‍යයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවන ගුරුවරුන්ගේ සේවය ඇයගේ විශේෂ ප්‍රසාදයට ලක් විය.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා හේරත්, කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති එම්.ඒ. විමලසිරි, මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ කුමාර සහ වයඹ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් චන්දන වන්නිනායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහභාගී වූහ.