ශ්‍රී ලංකාව ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳපොළේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ස්ථාපිත කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන “Gem City Ratnapura 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනය, එළඹෙන අගෝස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා රත්නපුරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
ජාත්‍යන්තර ප්‍රදර්ශන දින දර්ශනයට සමගාමීව සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනය, කලාපීය සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට ශ්‍රී ලාංකේය මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නව ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා විවෘත වන සුවිශේෂී වේදිකාවක් වනු ඇත. රත්නපුර නගරය ජාත්‍යන්තර මැණික් වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රජයේ දීර්ඝකාලීන උපායමාර්ගික සැලැස්මේ තීරණාත්මක පියවරක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ හා පතල්කරුවන්ගේ සංගමය ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පාර්ශ්වකරුවන් රැසක් සිය සාමූහික දායකත්වය ලබා දෙයි. මැණික් කැණීම, නිෂ්පාදනය සහ අපනයන ක්‍රියාවලියේ පවතින බාධා ඉවත් කරමින් කර්මාන්තය නවීකරණය කිරීම රජයේ අපේක්ෂාව බව චතුරංග අබේසිංහ මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 60කට ආසන්න සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට නියමිත අතර, මහා පරිමාණ අපනයනකරුවන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ද සිය නිෂ්පාදන සහ ශිල්පීය කුසලතා ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව සැලසේ. ශ්‍රී ලාංකේය මැණික්වල අනන්‍යතාව සහ දේශීය ස්වර්ණාභරණ කලාවේ නවෝත්පාදන ලෝකයට හඳුන්වා දීම හරහා මෙරටට විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයකි.