පසුගිය දශක දෙකක කාලය තුළ ලංකාවේ සිදුව ඇති බරපතල මූල්‍ය අක්‍රමිකතා සහ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිල වශයෙන් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාව මගිනුයි මේ බව පෙන්වා දෙන්නේ.


මෙහි වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ රජය ලබාගත් ණය සහ එමගින් රට තුළ බිහි කර ඇති වත්කම් අතර පවතින අතිවිශාල පරතරයයි. වාර්තාවට අනුව 2022 දෙසැම්බර් 31 වන විට රජයේ මුළු බාහිර වගකීම් හෙවත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 27,281ක් ලෙස සටහන් වනවා. නමුත් එම මුදල් යොදවා රට තුළ නිර්මාණය කර ඇති මුළු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 4,804ක් පමණයි. ඒ අනුව රුපියල් බිලියන 22,477ක දැවැන්ත මුදලක් වත්කම් බවට පත් නොවී අතුරුදන්ව ඇති බවයි විගණන වාර්තාව පෙන්වා දෙන්නේ.


රාජ්‍ය ආයෝජන සම්බන්ධයෙන් ද මෙවැනිම තත්ත්වයක් දැකගත හැකියි. 2006 සිට 2022 දක්වා කාලය තුළ රජය ආයෝජන වියදම් ලෙස රුපියල් බිලියන 9,213ක් වැය කර තිබුණත්, භෞතික වත්කම් ලෙස පවතින්නේ රුපියල් බිලියන 2,093ක වටිනාකමක් පමණයි. මෙහිදී රුපියල් බිලියන 7,120ක මුදලකට සිදුවූ දෙයක් වාර්තාවල සඳහන් වන්නේ නැහැ.


මීට අමතරව, 2022 වසර අවසන් වන විට රේගුව, දේශීය ආදායම්, සුරාබදු සහ මෝටර් රථ ප්‍රවාහන යන ප්‍රධාන දෙපාර්තමේන්තු හතර හරහා රජයට අයවිය යුතු රුපියල් බිලියන 971.33ක බදු මුදලක් ද පැහැර හැර ඇති බව විගණකාධිපතිවරයා පවසනවා.


ලංකාව ආර්ථික බංකොලොත්භාවයට පත්වීමට මෙම මූල්‍ය පරතරයන් සෘජුවම බලපා ඇති බවයි විගණන වාර්තාව මගින් විශ්ලේෂණය කරන්නේ. පැනමා පේපර්ස් වැනි ජාත්‍යන්තර හෙළිදරව් කිරීම්වලින් කියවුණු කරුණු, දැන් මෙරට නිල විගණන වාර්තාවල සංඛ්‍යාලේඛන මගින් ද තහවුරු වෙමින් පවතින බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.