අඩ සියවසකට අධික කාලයක් අකර්මන්‍යව පැවති කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට රත්නපුරය දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තීරණාත්මක අදියරක් ලෙස, අදාළ භූමියේ පදිංචි ප්‍රජාව පිළිබඳ සමාජ සමීක්ෂණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ශාන්ත පද්මකුමාර පවසයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
මෙම ‘රුවන්පුර’ දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ශාක්‍යතා අධ්‍යයන කටයුතු ආරම්භ කර මේ වන විට මාසයක කාලයක් ගත වී ඇති අතර, එහි වගකීම Resource Development Constructions ආයතනය වෙත පවරා ඇත. වසර 55කට පෙර අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා ක්‍රියාත්මක වූ දුම්රිය සේවය නතර කිරීමෙන් පසු, එම දුම්රිය මාර්ගයට අයත් භූමිය සහ ගොඩනැගිලි පද්ධතිය මේ වන විට රාජ්‍ය සහ පෞද්ගලික අංශ විසින් විවිධ ප්‍රයෝජන සඳහා භාවිත කරනු ලබයි. එබැවින් මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැනනගින සමාජීය සහ ව්‍යුහාත්මක ගැටලු හඳුනා ගැනීම සඳහා මෙම සමීක්ෂණය තීරණාත්මක වනු ඇත.
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂ නිමල් තක්කාවිට ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 2029 වසර වන විට කැළණිවැලි දුම්රිය රත්නපුරය දක්වා ධාවනය කරවීම රජයේ ඉලක්කය වී තිබේ. මෙම ව්‍යාපෘතියේ මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා 2026 අයවැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද ශාන්ත පද්මකුමාර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.