හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව පැවසෙන කොම්පඤ්ඤවීදිය, ලීලි වීදියේ පිහිටි සුපිරි හෝටල් පරිශ්‍රයක පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. අදාළ හෝටලය තුළ නීතිවිරෝධී ගිනි අවි සඟවා ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු විය. මේ සඳහා කාන්තා නිලධාරිනියන් ඇතුළුව පොලිස් නිලධාරීන් 55 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී සිටීම විශේෂත්වයකි.

මහල් හතරකින් යුත් මෙම සුපිරි හෝටල් පරිශ්‍රය පුරා පැය හතරකට ආසන්න කාලයක් අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සිදු කළ ද, එහි තිබී කිසිදු ගිනි අවියක් හෝ වෙනත් සැකකටයුතු ද්‍රව්‍යයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී නැත. මෙහෙයුම අවසානයේ පොලිසිය විසින් හෝටල් කළමනාකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.