පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සුදුවත් කිරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවාදීන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නාමය අවභාවිත කරමින් අතිශය නින්දිත සහ අසත්‍ය ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර තිබේ. සුරේෂ් සලේ රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කුටිය පීඩාකාරී බවට එම කොමිෂන් සභාව විසින් විශේෂ වාර්තාවක් ලබා දී ඇති බව පවසමින් සමාජගත කරන පුවත සහමුලින්ම ගොතන ලද අසත්‍යයක් බව මේ වන විට තහවුරු වී ඇත.
මෙම කුමන්ත්‍රණකාරී ප්‍රචාරයන් හරහා පෙන්වා දීමට උත්සාහ කරන්නේ මානව හිමිකම් කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා විසින් සුරේෂ් සලේ වෙනුවෙන්ම විශේෂ විමර්ශනයක් පවත්වා ඇති බවයි. එහෙත් සැබෑ තත්ත්වය වන්නේ මීට මාසයකට පමණ පෙර, එනම් සුරේෂ් සලේගේ මෙම ‘උපවාස නාටකය’ ආරම්භ වීමටත් පෙර, මානව හිමිකම් කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටිවල පොදු තත්ත්වය පිළිබඳව සිදු කරන ලද සාමාන්‍ය ක්ෂේත්‍ර නිරීක්ෂණයකි. එහිදී රැඳවුම් කුටිවල පවතින වාතාශ්‍රය සහ හිරු එළිය නොලැබීම වැනි පොදු භෞතික අඩුපාඩු පිළිබඳව ඉදිරිපත් කළ සාමාන්‍ය නිරීක්ෂණ වාර්තාවක්, සුරේෂ් සලේට පමණක් එල්ල වූ වධහිංසාවක් ලෙස අර්ථකථනය කරමින් ජනතාව නොමඟ යැවීමට මෙම පිරිස උත්සාහ දරති.
සැකකරුගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව ඊයේ (16) දිනයේදීත් සාක්ෂි සටහන් කරගත් බවට පළ වන ප්‍රකාශ සහමුලින්ම සාවද්‍යය. පාස්කු දා පුද්ගලයන් 268 දෙනෙකුගේ ජීවිත බිලිගත් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වගඋත්තරකරුවන් නීතියෙන් බේරාගැනීම සඳහා රාජ්‍ය ආයතනවල ස්වාධීන වාර්තා මෙලෙස කූට ලෙස භාවිත කිරීම නීතියේ ආධිපත්‍යයට කරන බරපතළ අපහාසයකි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සාමාන්‍ය සැකකරුවෙකු වෙනුවෙන් මානව හිමිකම් ලේබලය අලවා, අපරාධ විමර්ශන යටපත් කිරීමට දරන මෙම තක්කඩි ප්‍රයත්නයට එරෙහිව සමාජයේ දැඩි අවධානය යොමු විය යුතුය.