කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පළමු මගී පර්යන්තයේ පහසුකම් පුළුල් කිරීම, නවීකරණය කිරීම සහ සමස්ත මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම ඉලක්ක කරගත් පුළුල් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. සීඝ්‍රයෙන් වර්ධනය වන ගුවන් මගී සංඛ්‍යාව සහ කාර්යබහුල කාලසීමාවන්හිදී පර්යන්තය තුළ ඇති වන තදබදය කළමනාකරණය කරමින්, ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රමිතීන්ට අනුකූල උසස් සේවාවක් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
මෙම සංවර්ධන කටයුතු අවසන් වීමෙන් පසු ගුවන්තොටුපළේ වාර්ෂික මගී හැසිරවීමේ ධාරිතාව මගීන් ලක්ෂ පහකින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතිය යටතේ පිටත්වීමේ සහ පැමිණීමේ ප්‍රදේශ පුළුල් කිරීම, Check-in පහසුකම් නවීකරණය කිරීම සහ ආගමන හා විගමන පරීක්ෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට පියවර ගැනේ. ඒ අනුව, පිටත්වීමේ මගී ශාලාව වර්ග මීටර් 1,700ක නව ඉඩකඩක් සහිතව පුළුල් කෙරෙන අතර, ඒ සඳහා රුපියල් බිලියන 6.7ක ආයෝජනයක් සිදු කිරීමට නියමිතය.
පැමිණීමේ පර්යන්තයේ පවතින ආගමන කවුන්ටර් සංඛ්‍යාව 28 සිට 40 දක්වා වැඩි කිරීමටත්, තාක්ෂණික මෙවලම් භාවිත කරමින් ක්‍රියාත්මක වන e-Gates හතරක් අලුතින් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර තිබේ. පිටත්වීමේ පර්යන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව Check-in කවුන්ටර් 36ක් සහ Remote Boarding Gates හයක් එක් කිරීමට නියමිත අතර, එමඟින් දැනට පවතින Check-in කවුන්ටර් සංඛ්‍යාව 74 දක්වා ඉහළ යනු ඇත.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අවධාරණය කරන්නේ මෙම ව්‍යුහාත්මක ප්‍රතිසංවිධානය හරහා ගුවන්තොටුපළේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මගී සේවා ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට හැකි වන බවයි. මෙම සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අදියර කිහිපයක් 2026 සහ 2027 වසරවලදී අවසන් කිරීමට අපේක්ෂිතය.