විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තමන් සතු රහසිගත බුද්ධි තොරතුරු කිසිදු පාර්ශ්වයකට ලබා නොදීමේ දැඩි ස්ථාවරයක පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි. අද (16) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සරත් වීරසේකර සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන සඳහා සුරේෂ් සලේ සතු පරිගණක සහ ජංගම දුරකථන පරීක්ෂා කිරීමට උත්සාහ කළ ද, ඔහු ඒ සඳහා අවශ්‍ය මුරපද (Passwords) ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සාමාජිකයෙකු ලබා දෙන සාක්ෂි මත පදනම්ව මෙරට බුද්ධි ප්‍රධානියෙකු පීඩාවට ලක් කිරීම ජාතියේම ලැජ්ජාවට කරුණක් බව සරත් වීරසේකර මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, නීති විශාරදයන් පෙන්වා දෙන්නේ රාජ්‍ය බුද්ධි තොරතුරු විශ්‍රාම ගිය පසු නිවෙස්වලට රැගෙන යා හැකි පෞද්ගලික දේපළක් නොවන බවයි. මෙම තොරතුරු රඳවා ගැනීම දේශපාලන ප්‍රභූන් නීතියෙන් මුදාගැනීමේ උත්සාහයක් විය හැකි බවට ද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ද මීට පෙර අධිකරණයේදී සැක පළ කර තිබිණි.