නැඟෙනහිර පළාත් හිටපු මහ අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදැයි කියන මිනිස් ඝාතන පහක් සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) ඉදිරිපත් කළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ සාමාජිකයෙකු වන පිල්ලෙයාන් මෙම ඝාතන සිදුවීම්වල තුන්වැනි සැකකරු ලෙස නම් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවන්ට අනුව, අදාළ ඝාතන පහ 2008 වසරේදී සිදු කර ඇත. 2008 ජනවාරි 09 වනදා කල්අඩි මුරුගන් කෝවිල අසලදී පොලිස් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේම මැයි 22 වනදා කාත්තන්කුඩිය ප්‍රධාන වීදියේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ අගෝස්තු 20 වනදා වව්නතිව් ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීම මෙම සිදුවීම් අතර වේ.
මෙම අපරාධවලට සම්බන්ධ පළමු සැකකරු දැනට විදේශගතව සිටින අතර, දෙවැනි සැකකරු 2025 අගෝස්තු 13 වනදා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන විමර්ශන සිදු කරමින් පවතී. පස්වැනි ඝාතනයට අදාළව නම් කළ තවත් සැකකරුවෙකු ද නොවැම්බර් 13 වනදා සිට රඳවාගෙන සිටින බවත්, ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් වාර්තා වේ. කප්පම් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී එය ප්‍රතික්ෂේප කළ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සහ පිල්ලෙයාන්ගේ කණ්ඩායමේම සාමාජිකයන් ඝාතනය කිරීම ද මෙම අපරාධ අතර පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් අනාවරණය කළේය.
නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15 වනදා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද පිල්ලෙයාන් සහ ඔහුගේ කණ්ඩායමට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ කරුණු වාර්තා කර ඇත. මීට අමතරව, පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ‘ඉනියභාරතී’ නමැත්තාට එරෙහිව ද මිනිස් ඝාතන හතක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ. ඔහු 2022 වසරේදී අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධියකට ද අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකි. පිල්ලෙයාන් දැනට වැලිකඩ බන්ධනාගාරගතව පසුවන්නේ වෙනත් ඝාතන සිද්ධියකට අදාළවය.