පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සාර්ථක කර ගැනීමට නම්, හිටපු බුද්ධි ප්රධානී සුරේෂ් සලේ සතු සියලු තොරතුරු අනාවරණය කරමින් ආරක්ෂක අංශ වෙත සහාය ලබා දීම ඔහුට කළ හැකි නිවැරදිම කාර්යය බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස පවසයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමින් අමාත්යවරයා අවධාරණය කළේ, හිටපු උසස් බුද්ධි නිලධාරියෙකු සහ හමුදා නිලධාරියෙකු ලෙස තමන් සතු තොරතුරු සඟවා තැබීමෙන් යුක්තිය පසිඳලීමේ ක්රියාවලියට බාධා වන බවයි.
විමර්ශන නිලධාරීන් වෙනස් කිරීමට උත්සාහ කරමින් අරගල කරනවා වෙනුවට, සුරේෂ් සලේ සතු පරිගණක (Laptop) හෝ ජංගම දුරකථනවල අඩංගු තොරතුරු විමර්ශකයන් වෙත ලබා දීම අත්යවශ්ය බව අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. “එම තොරතුරු සඟවාගෙන සිටීමෙන් පලක් නැහැ. බුද්ධි නිලධාරියෙකු ලෙස ඔහුට කළ හැකි උපරිම සේවය වන්නේ තමන් දන්නා කරුණු ප්රකාශ කරමින් විමර්ශන කඩිනම් කිරීමට සහාය වීමයි,” යැයි නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළේය.
දැනට රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ රඳවා සිටින පරිසරය සහ ඔහුට ලබා දී ඇති පහසුකම් සම්බන්ධයෙන් ද අමාත්යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේය. සුරේෂ් සලේ වෙනුවෙන් කිසිදු විශේෂ සිරකුටියක් හෝ අතිමනත් පහසුකම් සලසා නොමැති බවත්, පසුගිය රජයන් සමයේ රැඳවුම් නියෝග මත පුද්ගලයන් රඳවා තැබූ සම්මත ක්රමවේදයම ඔහු වෙනුවෙන් ද ක්රියාත්මක වන බවත් අමාත්යවරයා පැවසීය.
කෙසේ වෙතත්, ඔහුට අවශ්ය වෛද්ය ප්රතිකාර සහ මානුෂීය පහසුකම් උපරිමයෙන් සලසා දී ඇති බව රජය තහවුරු කරයි. මහජන ආරක්ෂක අමාත්යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශයක් උපුටා දක්වමින් නලින්ද ජයතිස්ස සඳහන් කළේ, සුරේෂ් සලේ වෛද්ය ප්රතිකාර ඉල්ලා සිටි සැනින් ඒවා ලබා දීමට කටයුතු කර ඇති බවත්, රෝහලේදී ඥාතීන්ට ඔහුව හමුවීමට අවස්ථාව සලසා ඇති බවත්ය. ඔහුගේ පෝෂණ අවශ්යතා සහ සෞඛ්ය තත්ත්වය පිළිබඳව සෞඛ්ය හා ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන බව ද අමාත්යවරයා මෙහිදී සහතික කළේය.