මෙරට රෝහල් පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්, ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා යොදා ගන්නා රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් අතිනවීන යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.
රුධිර ප්ලස්මා හුවමාරු කිරීම සඳහා භාවිත කරන ‘Com.Tec MultiProcedural’ නමැති මෙම යන්ත්‍ර දෙක ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත නිල වශයෙන් භාර දෙන ලදී. ජර්මනියේ නිෂ්පාදිත මෙම අතිනවීන උපකරණ මගින් ප්ලාස්මා දේහ විච්ඡේදනය හරහා මෙරට බහුලව වාර්තා වන රෝගී තත්ත්වයන් රැසකට සාර්ථකව ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතී.
මී උණ සහ සර්ප දෂ්ටනයට ලක්වූ රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටලු පාලනය කිරීමටත්, අවයව බද්ධ කිරීමේ සැත්කම්වලට පෙර සහ පසු රෝගීන්ට අවශ්‍ය විශේෂිත සත්කාර සැපයීමටත් මෙම යන්ත්‍ර උපකාරී වේ. විශේෂයෙන්ම රුධිර පිළිකා සහ තැලසීමියා රෝගයෙන් පීඩා විඳින, සෛල බද්ධ කිරීමේ සැත්කම් අපේක්ෂිත දරුවන්ට සහ වැඩිහිටියන්ට ගුණාත්මක ප්‍රතිකාර ලබා දීම සඳහා මෙම ප්‍රදානය සෘජුවම දායක වනු ඇත.
ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් සමාගමේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රනාන්දු සහ සාමාන්‍යාධිකාරී අචල මෝසස් විසින් අමාත්‍යවරයා වෙත මෙම උපකරණ භාර දෙන ලද අතර, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව දායක වීම සිය අරමුණ බව සමාගම් පාර්ශ්වය අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ, නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට රජය විශාල පිරිවැයක් දරන මොහොතක පෞද්ගලික අංශය විසින් සිදු කරන මෙවැනි පරිත්‍යාගයන් ඉතා අගය කළ යුතු බවයි. ජාතික රුධිර පාරවිලයන සේවය හරහා මෙවැනි යන්ත්‍ර 19ක් දැනටමත් දිවයින පුරා රජයේ රෝහල්වල සක්‍රීයව පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.