ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේදී එක් යැපයුම් සමාගමකින් අයකර ගතයුතුව තිබූ ඩොලර් දහහත් ලක්ෂ තිස්දහස් හයසිය පනස් අටක ($ 1,730,658) දඩ මුදලක් අයකරගෙන නොමැති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි 2009 සිට 2016 දක්වා ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් විගණකාධිපති විසින් 2016 දෙසැම්බර් 31 වෙනි දින ඉදිරිපත් කර තිබෙන විශේෂ විගණන වාර්තාවෙන් මේ බව හෙළි වේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ දෙවන ධුරය කාලය තුළ විශේෂයෙන්ම මෙම විගණන වාර්තාවෙන් ආවරණය වන අතර එම කාලයේදී පවිත්‍රා වන්නිආරච්චි විදුලි බල හා බලශක්ති ඇමති ලෙස පත් කර සිටියාය. එම කාලයේ විධිමත් අධ්‍යනයකින් හෝ අනුමැතියකින් තොරව Liberty Commodities වෙතින් අවස්ථා තුනකදී ගල් අඟුරු තොග මිලදී ගෙන තිබිණි.
එහිදී ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 758,358ක්, ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 562,763ක් සහ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 409,537ක් අය කරගැනීමට නොහැකි වී ඇත. මෙවැනි මූල්‍ය අපරාධ ගණනාවක් එම විගණන වාර්තාවෙන් හෙළි වී තිබේ.