දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ප්‍රශ්නගත ඉඩම සහ නිවස, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත පැවරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එකඟතාව පළ කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් සහ අග්‍රාමාත්‍යවරිය අතර අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ඉඩකඩ හිඟයට පිළියමක් ලෙස මෙම දේපළ යොදා ගන්නා ලෙස සිසුන් කළ ඉල්ලීමට රජයෙන් යහපත් ප්‍රතිචාර හිමි විය.

සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා සඳහන් කළේ, අදාළ දේපළ කඩිනමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වූ බවයි. රජයේ මෙම ධනාත්මක තීරණයත් සමඟ, මල්වානේ අදාළ පරිශ්‍රය අත්පත් කරගෙන සිටි ශිෂ්‍ය කණ්ඩායම් වහාම ඉන් ඉවත් වීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

හිමිකරුවෙකු නොමැති දේපළක් ලෙස හඳුනාගෙන තිබූ මෙම මල්වානේ නිවස සහ අක්කර 16ක ඉඩම, පොදු අධ්‍යාපන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අවස්ථාව සැලසීම ශිෂ්‍ය ව්‍යාපාරය ලැබූ ජයග්‍රහණයක් ලෙස ද මෙහිදී විස්තර කෙරිණි.