ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පසුගිය 16 වනදා ආරම්භ වූ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව එළඹෙන 22 වනදා දක්වා පැවැත්වේ. මෙම සුවිශේෂී ජාත්‍යන්තර සමුළුවට සමගාමීව පැවැත්වෙන සැසිවාර ගණනාවකට සහභාගී වන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, අද (18) දිනයේදී ප්‍රධාන සමුළුව ඇමතීමට නියමිතව ඇත.
සමුළුව පැවැත්වෙන කාලය තුළ අමාත්‍යවරයා භූතානය, තායිලන්තය සහ බංග්ලාදේශය ඇතුළු රටවල් රැසක සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ මෙන්ම නිපොන් පදනම වැනි ප්‍රබල ජාත්‍යන්තර සංවිධාන සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට කටයුතු කරනු ඇත.
2025 ඔක්තෝබර් මස පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා අග්නිදිග ආසියාතික කලාපීය කමිටුවේ 78 වන සැසියේදී එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් විය. ඒ අනුව මෙවර සමුළුවේදී ඔහු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පමණක් නොව, සමස්ත දකුණු හා අග්නිදිග ආසියාතික කලාපයේ නියෝජිතයා ලෙස ද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මෙම සංචාරය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමින් තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.