බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මහා පරිමාණ කොන්ත්‍රාත්තු ලබා ගනිමින් දේශපාලන රැකවරණය ලැබූ ‘මහසොහොන් බලකාය’ අන්තවාදී සංවිධානයේ නායක අමිත් වීරසිංහ, මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ වංචනික ලෙස ඉඩම් පරිහරණය කිරීම සහ සංචාරක කබානා (Cabana) ව්‍යාපෘතියක මුවාවෙන් පුද්ගලයින් රැසකගෙන් රුපියල් ලක්ෂ 30 බැගින් ආයෝජන මුදල් ලබාගෙන ඒවා වංචා කිරීමයි. ජාතිවාදය සහ ආගමික අන්තවාදය පළිහක් කර ගනිමින් ජනතාව මුළා කළ ඔහු, මෙම මහා පරිමාණ මූල්‍ය මගඩිය මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
2016 ජූනි මාසයේදී මහනුවර බෝගම්බර බෝධිමලු විහාරයේදී ‘මහසොහොන් බලකාය’ පිහිටුවා ගත් අමිත් වීරසිංහ, 2018 වසරේදී දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල සිදුවූ ම්ලේච්ඡ ජාතිවාදී ප්‍රහාරයන් දියත් කළ ප්‍රධාන පුද්ගලයෙකු ලෙස ආරක්ෂක අංශ හඳුනාගෙන තිබුණි. එවකට රාජපක්ෂ පවුලේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාව ප්‍රකෝප කරමින් ජාතිවාදී ගිනිදැල් ඇවිලවීමේ චෝදනාව මත ඔහු මීට පෙර ද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.
දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණින් ‘අභිනව නිවහල් පෙරමුණ’ නමින් පක්ෂයක් ද පිහිටුවා ගත් ඔහු, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ ද ජනතාව ඔහුව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළහ. අතීතයේදී අනුරාධපුර බන්ධනාගාරය තුළදී ඖෂධවේදියෙකු සමඟ ගැටුමක් ඇති කරගෙන රෝහල් ගතවීමට තරම් කලහකාරී වූ මෙම පුද්ගලයා, දේශපාලන ප්‍රභූන්ගේ හෙංචයියෙකු ලෙස කටයුතු කරමින් කළ සියලු අකටයුතුකම් දැන් එකින් එක හෙළිදරව් වෙමින් පවතී.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු විසින් වංචා කරන ලද මුදල් සහ සම්බන්ධ වී ඇති අනෙකුත් ජාවාරම් පිළිබඳව තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.