කොළඹ නගරයේ ප්‍රධාන ආකර්ෂණයක්ව පැවති පාවෙන වෙළඳපොළ (Floating Market) සහ බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශ මේ වන විට දැඩි ලෙස විනාශ වී ඇති බවත්, එම ප්‍රදේශය “පාවෙන අපායක්” බවට පත්ව ඇති බවත් නාගරික සංවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. මෙම පරිශ්‍රය යළි ජනතාවට ප්‍රයෝජනවත් ස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය සිකුරාදා (15) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

2014 වසරේදී වෙළඳසැල් 92කින් යුක්තව ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය, පසුගිය කාලය පුරා නිසි නඩත්තුවක් සිදු නොවීම හේතුවෙන් අභාවයට ගොස් තිබේ. අමාත්‍යාංශ වාර්තාවලට අනුව, මේ වන විට එහි ක්‍රියාත්මක වන්නේ වෙළඳසැල් 16ක් වැනි සුළු ප්‍රමාණයක් පමණි. වෙළඳපොළ පරිශ්‍රයේ ලී සහ ලෝහමය ඉදිකිරීම් මුළුමනින්ම දිරාපත් වී ඇති අතර, එය මහජනතාවගේ ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් වී ඇත.

විශේෂයෙන්ම බැස්ටියන් මාවත සහ ඩී.ආර්. විජේවර්ධන මාවත යා කරන පදික මංතීරුව පවතින අනතුරුදායක තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. විදුලි පද්ධති අක්‍රිය වීම හේතුවෙන් රාත්‍රී කාලයට මෙම ප්‍රදේශය අඳුරු වී පවතින අතර, එමඟින් විවිධ නීති විරෝධී ක්‍රියා සඳහා මෙම පරිශ්‍රය භාවිත වීමේ අවදානමක් ද මතුව තිබේ.

හෙක්ටයාර 65ක වපසරියකින් යුත් බේරේ වැව ආශ්‍රිත පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳව ද මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු විය. බේරේ වැවේ නැගෙනහිර සහ බටහිර කොටස් මෙන්ම ගංගාරාම ප්‍රදේශය, දිරාපත් වී ඇති එල්ලෙන පාලම සහ “කලදූව බබල් ෂේඩ්” (Kaladuwa Bubble Shade) ඉදිකිරීම් ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව මෙම කලාපය යළි ප්‍රශස්ත මට්ටමින් සංවර්ධනය කිරීමටත්, ජනතාවට නිදහසේ ගැවසීමට හැකි ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව ද මෙහිදී අවධාරණය කෙරිණි.