වාහන ආනයනය මත පනවන ලද 50%ක අධිභාරය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින වැරදි මත පිළිබඳව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ වාහන මිල 50%කින් ඉහළ යන බවට පැතිරෙන වාර්තා සම්පූර්ණ මිත්‍යාවක් බවයි.
පසුගිය මාස දෙකක කාලය තුළ මෙරට ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා වැඩි වී ඇති අතර, වාහන ආනයනය සඳහා ද විශාල වශයෙන් ණයවර ලිපි (LC) විවෘත වී තිබේ. මෙම තත්ත්වය හමුවේ රටේ විදේශ විනිමය සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා මාස තුනක (03) කාලයකට පමණක් බලපැවැත්වෙන පරිදි මෙම පියවර ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී බදු වැඩිවීම සිදුවන ආකාරය පිළිබඳව ගණිතමය පැහැදිලි කිරීමක් කළ අනිල් ජයන්ත පෙන්වා දුන්නේ මෙවැන්නකි:
“වාහන ආනයනය කිරීමේදී පවතින මූලික තීරු බද්ද 30%ක් වන අතර, එම 30% මත 50%ක අධිභාරයක් පැනවූ විට සැබෑ වැඩිවීම සිදුවන්නේ 15%කින් පමණි. එබැවින් වාහනයක මිල 50%කින් ඉහළ යන්නේ නැත. අප ජනතාවට දෙන පණිවිඩය වන්නේ, පුද්ගලික පරිහරණය සඳහා වාහන ගෙන්වීමට බලාපොරොත්තු වන අයෙක් වේ නම් එම කටයුත්ත තවත් මාස 3කින් පමා කරන ලෙසයි. අත්‍යවශ්‍ය අයෙකුට මෙම අධිභාරය ගෙවා වාහනයක් ගෙන්වා ගැනීමට කිසිදු තහනමක් හෝ සීමාවක් රජය පනවා නැත.”
මෙම තාවකාලික පියවර මගින් පොදුවේ වෙළෙඳපොළේ වාහන මිල කෙරෙහි දීර්ඝකාලීන බලපෑමක් ඇති නොවන බවත්, මාස තුනකට පසු මෙම අධිභාරය ඉවත් කිරීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.