2022 වසරේ ජූලි මස 07 වනදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතාවල නිරත වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වූ නඩුවට පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) වරෙන්තු නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට පැමිණ නොසිටි අතර, ඇය වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන්ට ද නොතීසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී පියවර ගත්තේය.
පසුගිය වසරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය වූ ජූලි 09 වනදාට දින දෙකකට පෙර එනම්, ජූලි 07 වැනිදා පැවැති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කළ බවට මෙම පිරිසට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, නිරූපමා කරුණානායක, සප්නා දීපිසිකා, චමිලා නිලානි අබේකෝන්, රොසෙල් විජේරත්න, සදරුවන් රොද්‍රිගු, යූ ප්‍රකාශ්, ගිහාන් අල්මේදා, රවීන්ද්‍ර පනාවිල, විජේරත්න ජයවික්‍රම, රම්සික සහ කාවින්ද උදයංග යන 12 දෙනා අතරින් 10 දෙනෙකු අද දින අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් නොවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ඉදිරියට ගෙන යන ලදී.