සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඊට ලබා දී ඇති සුවිශේෂී ප්‍රමුඛතාව අහෝසි කිරීමට උත්සාහ කරන ඕනෑම බලවේගයක් පරාජය කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව අවධාරණය කළේ වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මහඔය ජිනරතන හිමියන් පිළිගැනීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ නව වැනි ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බවයි. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම රජයේ මූලික වගකීමක් ලෙස එහි පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එම තත්ත්වය වෙනස් කිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

බුදු දහමට හිමි එම ගෞරවනීය ස්ථානය සුරකින අතරම, ශ්‍රී ලංකාවේ සෙසු ආගම් සහ සංස්කෘතීන්ට ද හිමි නිසි ගෞරවය, ස්ථාවරය සහ රැකවරණය තහවුරු කිරීමට ව්‍යවස්ථාව මගින් ඉඩ සලසා ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය. රටේ පවතින ආගමික සහජීවනය ආරක්ෂා කරගනිමින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපවීම සියලු දෙනාගේ වගකීම බව ද ඔහු මෙහිදී පවසා සිටියේය.

(Lankadeepa.lk)