දිලිත් ජයවීර නායකත්වය ලබාදෙන ‘සර්වජන බලය’ පක්ෂයේ සාමාජිකයෙකු වන දයා පුෂ්පකුමාර හේවා බැට්ටගේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (08) අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට එරෙහිව එල්ල වී ඇති බරපතළ දූෂණ චෝදනා හතරක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සැකකරුට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ තමාට අයත් ඉඩමක් නීති විරෝධී ලෙස ප්‍රාදේශීය සභාවට මිලදී ගැනීමට සලස්වා, රුපියල් ලක්ෂ 94ක මුදලක් ලබා ගනිමින් රජයට අයුතු වාසියක් සිදුකර ගැනීමයි. මීට අමතරව, රජයේ ඉඩමක් ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමට යන මුවාවෙන් නිසි ක්‍රමවේදයෙන් බැහැරව රුපියල් ලක්ෂ 40ක් ගෙවා, එම ඉඩම නීත්‍යනුකූලව පවරා නොගෙන සභාවට පාඩු සිදුකිරීමේ චෝදනාව ද ඔහුට එල්ල වී ඇත.

සැකකරු විසින් සිදුකර ඇති බව කියන තවත් මහා පරිමාණ වංචාවක් වන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට බෙදා දීමට යැයි පවසමින් රුපියල් දෙකෝටි හැටලක්ෂයකට අධික (රු. 26,025,650) අභ්‍යාස පොත් මිලදී ගැනීමයි. අදාළ ව්‍යාපෘතිය සඳහා නිසි අනුමැතියක් ලබා නොගෙන, එය අතරමඟ නවතා දැමීමෙන් රජයේ මුදල් විශාල වශයෙන් නාස්ති කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

තවද, පෞද්ගලික ආයතනයක් විසින් ප්‍රාදේශීය සභාව වෙත පවරා දී තිබූ පර්චස් 202ක පොදු ඉඩමක්, සිය ඥාතියෙකු වෙත රුපියල් විසි ලක්ෂයක (රු. 2,000,000) ඉතා අඩු වටිනාකමකට විකුණා දැමීම මගින් ද ඔහු අල්ලස් කොමිසමේ චෝදනාවට ලක්ව සිටියි.

අත්අඩංගුවට ගන්නා ලද දයා පුෂ්පකුමාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන මැයි මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.