15 හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම සහ ස්ත්‍රී දූෂණය යන චෝදනා මත අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ, ඊයේ (08) රාත්‍රී 11.45ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිට්ටඹුව පොලිසිය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

මෙම අපරාධයට ආධාර අනුබල දීම සහ මුදලට දැරිය අලෙවි කිරීම යන චෝදනා මත වින්දිත දැරියගේ මව ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ජාතික ළමාරක්ෂණ අධිකාරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සැකකාර හිමිනම සතු දේශපාලන සහ ආගමික බලය හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය පසින් යම් ‘ඌණතාවක්’ පෙන්නුම් කළ බවයි. ඒ අනුව ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ ඇතුළු කණ්ඩායමක් සෘජුවම මැදිහත් වී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, සැකකාර හිමිනම වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් විය.

ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වින්දිත දැරිය හෙළි කර ඇත්තේ, තමන්ට මුලින්ම ලිංගික අතවර සිදු කරන ලද්දේ පල්ලේගම හේමරතන හිමියන් බවත්, ඒ වෙනුවෙන් සිය දෙමාපියන්ට වරින් වර මුදල් ලබා දුන් බවත්ය. ගම්පහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් ද දැරිය බරපතළ ලිංගික හිංසනයකට ලක්ව ඇති බව සනාථ කර තිබේ.

සැකකාර හිමිනමට සහ දැරියගේ මවට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, අත්අඩංගුවට ගත් අටමස්ථානාධිපති හිමි අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.