බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉස්ලාම් දහම සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් වර්ගවාදී අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය අද (06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක දැක්වෙන්නේ, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම නීතිමය පියවර ගත් බවයි. අදාළ සිද්ධියට අදාළව ඥානසාර හිමියන් අද (06) අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු පවරා ඇති බැවින්, ඉදිරියේදී මහාධිකරණයෙන් ලැබෙන නොතීසියක් ලද වහාම එහි පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා උන්වහන්සේට දැනුම් දුන්නේය.
වර්ගවාදී සහ ආගමික අසමගිය ඇති වන ආකාරයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව දිගු කලක සිට චෝදනා එල්ල වී තිබුණි. මෙම නඩුව මගින් උන්වහන්සේගේ එවැනි වර්ගවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.