මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ කුලියාපිටිය පොලිසියට තොරතුරු ලැබී ඇත. ගෙවත්තේ වැටී සිටි සහකාර අධ්‍යක්ෂවරයාව ඔහුගේ දියණිය විසින් මුලින්ම දැක ඇති අතර, ඇය ඒ පිළිබඳව මවට දැනුම් දීමෙන් පසු පොලිසියට පැමිණිලි කර ඇත.
කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රංග රාජපක්ෂගේ නිවසට ගිය පොලිසිය, ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙනු නිරීක්ෂණය කර තිබේ. ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබෙන බවත්, වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක් හමු වූ බවත් පොලිසිය පවසයි. මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වේ. කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරිය ද අද පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය.
ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව, සේවයේ නිරතව සිටියදී එක් වරක් සහ වැඩ තහනමට ලක්වූ පසු අවස්ථා දෙකකදී ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රංග රාජපක්ෂගෙන් ප්‍රශ්න කර තිබුණි. සෑම අවස්ථාවකදීම ඔහු විමර්ශන සඳහා සහාය වී ඇති අතර, ඔහුගේ පරිගණකය ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, හැකර්වරුන් විසින් එවන ලද පළමු ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ද මෙම සහකාර අධ්‍යක්ෂවරයා විසින් බවයි. එසේම හැකර්වරුන්ගේ ව්‍යාජ ඊමේල් පණිවුඩය හරහා අදාළ බැංකු ගිණුමට මුදල් බැර කිරීමේ මූලික පියවර ඔහුගේ නොසැලකිල්ල මත සිදුව ඇති බවට ද තහවුරු වී ඇත.
ඔහුගේ පසුබිම පිළිබඳව සිදුකළ පරීක්ෂණවලදී ඔහු දූෂිත නිලධාරියෙකු නොවන බවට මූලිකව අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු වාර්තා වී නොතිබූ බව ද විමර්ශන නිලධාරීහු පවසති. අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබිණි. වැඩ තහනමට ලක්වීමෙන් පසු ඔහු දැඩි සිත්තැවුලකින් පසුවී ඇත.
මෙම නිලධාරියාගේ මරණය, ඩොලර් මිලියන 2.5 අස්ථානගත වීමේ විමර්ශන කටයුතුවලට දැඩි බාධාවක් වනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.