අධිකරණයේදී මතු වූ ප්‍රකාශයක් පදනම් කරගනිමින් යුද පදක්කම්වල ගෞරවය පිළිබඳව මේ වන විට විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පැළඳ සිටි පදක්කම් සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ “ලෝහ කැබලි” යන ප්‍රකාශය ඇතැම් පිරිස් විවේචනය කළ ද, පදක්කමක සැබෑ වටිනාකම පවතින්නේ පපුවේ ඇති ලෝහය මත නොව එය පළඳින්නාගේ හැසිරීම සහ විනය මත බව අපගේ විශ්වාසයයි.
පදක්කමක් යනු හුදෙක් ලෝහ කැබැල්ලකට වඩා එහා ගිය ජාතික ගෞරවයක් වුවද, එම ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම එය පළඳින්නා සතු වේ. යම් අයෙකු පදක්කම් පැළඳ මත්පැන් පානය කර මහමඟ නොහොබිනා ලෙස හැසිරෙන්නේ නම් හෝ එම ගෞරවයට නිගා කරන්නේ නම්, එවැනි අවස්ථාවලදී පදක්කමක වටිනාකම ලෝහ කැබැල්ලකට පමණක් සීමා වන බව අපගේ මතයයි.
විශේෂයෙන්ම, රාජ්‍ය විරෝධී චෝදනා ලැබ සිටින සුරේෂ් සලේ වැනි පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටිමින් පැවැත්වූ විරෝධතාවලදී, යුද පදක්කම් පපුවේ පැළඳ සිටි ඇතැම් විශ්‍රාමික නිලධාරීන් බල්ලන් මෙන් පොළොවේ බත් දමාගෙන ආහාර ගැනීම වැනි ක්‍රියාවල නිරත වීම හරහා සමස්ත ත්‍රිවිධ හමුදාවේම අභිමානය කෙළසා ඇති බවට දැඩි චෝදනා එල්ල වී තිබේ. මෙවැනි පහත් ක්‍රියා හරහා පදක්කම්වල ගෞරවය පාවා දෙන පිරිස්, අධිකරණයේදී සිදු කරන ප්‍රකාශ ගැන කෑගැසීම හාස්‍යයට කරුණක් බව ද සඳහන් වේ. එම නිසා පදක්කමක් යනු පූජනීය වස්තුවක් වන්නේ එය පළඳින පුද්ගලයා ශිෂ්ටසම්පන්න ලෙස හැසිරෙන තාක් පමණකි.
සටහන | Sachith Liyanage