සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘හරක් කටා’ හට බන්ධනාගාරය තුළ පහසුකම් සැලසීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ අරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා එළැඹෙන ජූලි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළේය. සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන් නිදහස් කිරීමට තරම් සුවිශේෂී නීතිමය කරුණු ඉදිරිපත් වී නොමැති බව අවධාරණය කළේය.

මෙම නඩු විභාගය අතරතුර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂිකා අනුෂා සම්බන්ධප්පෙරුම, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත එල්ල වී ඇති සැකය පිළිබඳව සුවිශේෂී කරුණු කිහිපයක් අනාවරණය කළාය. ආගමන විගමන දෙපාර්තමේන්තු දත්තවලට අනුව, සැකකරුවන් අල්ලස් මුදල ලබාගැනීම සඳහා ඩුබායි බලා ගිය කාලසීමාව තුළදීම (2023 මාර්තු 21 සිට 28 දක්වා) විජයදාස රාජපක්ෂ ද ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බව තහවුරු වී තිබේ. මේ හේතුවෙන් සිද්ධියට ඔහුගේ ඇති සම්බන්ධතාව පිළිබඳව වෙනමම විමර්ශනයක් ආරම්භ කර ඇත.

එසේම, මෙම ගනුදෙනුවට සම්බන්ධ ලසන්ත මංජුල සිල්වා නමැත්තාට නැවත ලබාදුන් රුපියල් ලක්ෂ 200ක මුදලක් හුවමාරු වී ඇත්තේ නුගේගොඩ, නාවල ප්‍රදේශයේ පිහිටි නිවසකදී බවත්, විමර්ශනවලදී එම නිවස විජයදාස රාජපක්ෂට අයත් එකක් බව හෙළි වී ඇති බවත් අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය.

රඳවුම් භාරයේ පසුවන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැති අපරාධකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුට අවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම් සැලසීමටත් සැකකරුවන් මුලින් රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා ඇත. පසුව එය කෝටි 20 දක්වා අඩු කර ඇති අතර, ඉන් කෝටි 12ක් අත්තිකාරම් ලෙස ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ. මෙම සිද්ධියට අදාළ හඬපට කිහිපයක් ද මේ වන විට ප්‍රසිද්ධියට පත්ව තිබේ.