සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ වෙනුවෙන් පහසුකම් සැලසීමේ අරමුණින් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත ඍජු විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබේ. කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම අද අධිකරණය හමුවේ මෙම කරුණු අනාවරණය කළාය.
විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති පරිදි, මෙම සිද්ධියට අදාළව ලසන්ත මංජුල සිල්වා නමැති පුද්ගලයා වෙත රුපියල් ලක්ෂ 200ක මුදලක් නැවත ලබා දී ඇත්තේ නුගේගොඩ, නාවල පාරේ විජයබා මාවතේ පිහිටි නිවසකදීය. එම නිවස හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට අයත් එකක් බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
එසේම, අදාළ අල්ලස් මුදල ලබාගැනීම සඳහා විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා ඩුබායි රාජ්‍යයට ගිය අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ ද එහි රැඳී සිට ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. ආගමන විගමන දත්ත මඟින් තහවුරු වී ඇත්තේ 2023 මාර්තු 21 වනදා සිට 28 වනදා දක්වා කාලය තුළ ඔහු ඩුබායිහි රැඳී සිට ඇති බවයි. මෙම තොරතුරු පදනම් කරගනිමින් හිටපු අධිකරණ අමාත්‍යවරයා මෙම අල්ලස් සිද්ධියට කිනම් හෝ අයුරකින් සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කළාය.