දේශපාලනය කලාවක් නම්, එක්සත් ජාතික පක්ෂය අද වන විට රඟ දක්වමින් සිටින්නේ අතිශය හාස්‍යජනක මෙන්ම ඛේදනීය නාට්‍යයකි. කලක් මෙරට දේශපාලනයේ ප්‍රබලම වෘක්ෂය වූ මෙම පක්ෂය, අද වන විට එහි සෙවණැලි පවා එකිනෙකා සමඟ ගැටෙන, දැක්මක් නොමැති අර්බුදයක පතුලටම ඇද වැටී තිබේ. පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය වීදියේ කතාබහක් බවට පත් කරමින් කරළියට පැමිණ ඇත්තේ, දේශපාලන පරාජයෙන් උමතු වූ ජ්‍යෙෂ්ඨයන්ගේම වේදනාත්මක ස්වරයෙනි.

හිටපු අමාත්‍ය රවි කරුණානායක පසුගියදා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ වත්මන් බිඳවැටීම මැනවින් නිරූපණය කරන්නකි. රනිල් වික්‍රමසිංහගෙන් පසුව පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨයා තමා වුවද, අද වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දොරටු තමාට වැසී ඇති බව ඔහු පවසන්නේ මහත් කෝපයෙනි. පක්ෂය තුළ රජ කරන ‘භූතයන්’ සහ ‘භූතයන්ගේ පුත්තු’ ගැන ඔහු කළ අනාවරණය හරහා පෙනී යන්නේ, එක්සත් ජාතික පක්ෂය යනු අද වන විට කිසියම් පිරිසකගේ අන්තිම කැමැති පත්‍රයකින් ලියා දුන් ‘පෞද්ගලික බුදලයක්’ බවට පත්ව ඇති ආකාරයයි. රුවන් විජයවර්ධන, නවීන් දිසානායක සහ අකිල විරාජ් කාරියවසම් වැනි ජ්‍යෙෂ්ඨයන් පසෙකට තල්ලු කරමින් දියත් වන මෙම ‘පවුල් සූදුව’ දෙස රටම බලා සිටින්නේ උපහාසයෙනි.

මෙම භූත සෙවණැලි සහ ඔවුන්ගේ දූ දරුවන් කවුරුන්ද යන්න දැන් රහසක් නොවේ. පක්ෂ සභාපති වජිර අබේවර්ධනගේ පුත් තීක්ෂණ අබේවර්ධන සහ ඒකාබද්ධ විපක්ෂය සමඟ රහසිගත ගනුදෙනු පවත්වන මහින්ද යාපා අබේවර්ධනගේ පුත් වෛද්‍ය චමීර යාපා අබේවර්ධන වැනි ‘රාජකුමාරවරුන්’ පක්ෂයේ ඉහළම තීන්දු තීරණ ගන්නා මණ්ඩල ආක්‍රමණය කර තිබේ. ජ්‍යෙෂ්ඨයන් පක්ෂයෙන් ඈත් වන විට හෝ ඔවුන්ව හිතාමතා ඈත් කරන විට, මෙවැනි ‘පැරිෂුට්’ තරුණ කණ්ඩායම් ඉදිරියට ගෙන ඒම රනිල් වික්‍රමසිංහගේ පැවැත්ම උදෙසා ගත් අසරණ තීරණයකි. මහනුවර සහ කුරුණෑගල රැස්වීම් ජ්‍යෙෂ්ඨයන් විසින් මඟහැරීම සහ රුවන් විජයවර්ධනට කතාවක් පවා ලබා නොදීම තුළින් තහවුරු වන්නේ පක්ෂය තුළ පවතින ‘කකුලෙන් ඇදීමේ’ නින්දිත සංස්කෘතියයි.

මේ අතර, රනිල් වික්‍රමසිංහ මල් පාර පක්ෂ කාර්යාලයට නීතිඥවරුන් 150ක් පමණ කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබේ. විවිධ නඩු හබ පවතින දේශපාලනඥයන්ට නීතිමය සහාය ලබා දෙමින් ඔවුන් තමන් වෙත නතු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව වාර්තා වේ.