ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් යළි ලබන 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබා දී තිබූ ජනාධිපති පොදු සමාව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් අභියෝගයට ලක් කරනු ලැබීය. ඉන් අනතුරුව අදාළ ජනාධිපති සමාව බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර, එතැන් පටන් උන්වහන්සේ වැඩවාසය කළ ස්ථානයෙන් අතුරුදහන් වී ඇති බවට තොරතුරු වාර්තා විය. එවන් පසුබිමක පසුගිය දිනවල ආගිය අතක් නොමැතිව සිටි උන්වහන්සේ, කිසිවෙකුටත් නොදන්වා හොර රහසේම මෙන් අද දින අධිකරණය හමුවට පැමිණ සිටීම කාගේත් දැඩි අවධානයට ලක් විය.
අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළේ, තමන් වහන්සේ අතුරුදහන් වී ඇති බවට අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කර තිබුණ ද, අතුරුදහන් වන්නේ හෝ ප්‍රශ්නවලින් පලා යන්නේ දුර්වලයින් බවයි.
තමන් නීතියට ගරු කරන බවත්, මෙතෙක් කටයුතු කළේ රට වෙනුවෙන් බැවින් මතුවන ගැටලුවලට නොබියව මුහුණ දෙනවා මිස කිසිවිටෙකත් ඒවායින් පලා නොයන බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.