ඉන්ධන දීමනාව වර්තමාන මිල ගණන්වලට ගැළපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙහි යම් වැඩිවීමක් සිදුවී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර ප්‍රකාශ කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික වැටුප කිසිසේත්ම වැඩි කර නොමැති බවයි. කෙසේ වෙතත්, ඉන්ධන දීමනාව හිමි රජයේ නිලධාරීන්ට ලැබෙන මුදල වර්තමාන මිල ගණන්වලට ගැළපීමට පියවර ගත් බවත්, රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට පත්වීමත් සමඟ රජය එම තීරණය ගත් බවත් හෙතෙම සඳහන් කරයි.

ඒ අනුව, ඉන්ධන දීමනාව හිමි සියලුම රජයේ නිලධාරීන්ට ලැබෙන මුදලෙහි යම් වැඩිවීමක් ලැබී ඇති අතර, එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද යම් ප්‍රමාණයකින් බලපා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවී ඇති බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අර්චුනා රාමනාදන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කළේය.