අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර 2020 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති (DIG) ධුරයට උසස් කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඊට අදාළ විශේෂ පොලිස් පණිවුඩය නිකුත් කර ඇති අතර, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 06 වනදා මෙම උසස්වීම අනුමත කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

තමන්ට හිමිවිය යුතු නියෝජ්‍ය පොලිස්පති තනතුර නිසි කලට ලබා නොදීමට එරෙහිව ශානි අබේසේකර විසින් පරිපාලන අභියාචනා විනිශ්ව්‍යාධිකාරය වෙත ඉදිරිපත් කර තිබූ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලැබී තිබේ. ඒ අනුව, 2020 අගෝස්තු 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුව නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්ව්‍යාධිකාරය විසින් පසුගිය මැයි 13 වනදා ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර තිබුණි.

2019 නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණයෙන් පසු, එනම් 2019 නොවැම්බර් 20 වනදා, එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ ඉල්ලීම පරිදි පසුදිනම රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර යැවීමට තීන්දු කර තිබුණි. එම ස්ථාන මාරුව සිදුවන අවස්ථාවේදී ඔහු ශ්‍රී ලංකා පොලිසියේ සේවය කළ ජ්‍යෙෂ්ඨතම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විය.

මෙලෙස අත්තනෝමතික ලෙස තමන් ස්ථාන මාරු කිරීමට එරෙහිව ශානි අබේසේකර විසින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කරනු ලැබීය.