රේගු බදු වංචා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ මෙරටට හොර රහසේ රැගෙන ඒමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ජාවාරමට හිටපු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය පාලන සමයන් තුළ ක්‍රියාත්මක වී ඇති මෙම ජාවාරම හරහා, කන්ටේනර් තුළ සඟවා සංවිධානාත්මක ලෙස වාහන රැගෙන එනු ලැබ ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වාහන බොහොමයක් දේශපාලනඥයින්ගේ දරුවන් විසින් පරිහරණය කර ඇති බවයි. එසේ හොර රහසේ ගෙන්වන ලද වාහන, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්ගේ සහය ඇතිව ව්‍යාජ ලෙස ලියාපදිංචි කර තිබේ. ඇතැම් අවස්ථාවලදී එවැනි වාහන රාජසන්තක කරනු වෙනුවට, පසුව රේගු බදු ගෙවා නිදහස් කර ගැනීමට වරප්‍රසාද ලබා දී ඇති බව ද හෙළි වී ඇත.

ආණ්ඩු පෙරළියට ආසන්න කාලසීමාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවැනි තවත් සුඛෝපභෝගී වාහනයක් අත්අඩංගුවට ගෙන තිබේ. එම වාහනය භාරව සිටි පුද්ගලයා එය හිටපු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකුට අයත් එකක් බවට ප්‍රකාශ කර ඇත. දැනට රේගු භාරයේ පවතින එම වාහනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඉදිරි සතිය තුළ අදාළ හිටපු ජනාධිපති පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතව ඇත.