පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම සහ ජල විදුලි උත්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම මඟින් විදුලි ජනන පිරිවැය අවම කර, ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීමේ විධිමත් සැලසුමක් පවතින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව, ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා එකඟතාව පළ කළ සේවකයන්ට මූල්‍ය වන්දි පිරිනැමීම වෙනුවෙන් අද (15) දෙහිවලදී පැවැති උත්සවයකට එක්වෙමිනි.

මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ලැබූ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 1,898 දෙනෙකු සඳහා මෙහිදී වන්දි මුදල් පිරිනමනු ලැබීය. ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම ප්‍රතිසංස්කරණවල මූලික ඉලක්කයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අලුතින් පිහිටුවන ආයතන හරහා පාරිභෝගිකයාට උසස් සේවාවක් ලබා දෙමින් රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන බව ද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.