සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් හෙට (08) මෙරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතව තිබේ. මෙය 2015 වසරෙන් පසු විදේශීය රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ.

පෙරවරු 11.05ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන ජනාධිපතිවරයාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර විසින් පිළිගනු ලැබීමට නියමිතය. අනතුරුව වියට්නාම් ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි නිල හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා – වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති, අමාත්‍ය දම්මික පටබැඳි ද සහභාගී වනු ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තැබීමෙන් අනතුරුව ජනාධිපති ටෝ ලාම් සභාගර්භයට පිවිසෙනු ඇත. එහිදී කථානායකවරයාගේ ආසනයට ආසන්නව පනවා ඇති විශේෂ අසුනක අසුන් ගන්නා ඔහු, පෙරවරු 11.40ට සභාව අමතමින් සිය විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.

වියට්නාම් ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා ද සිය ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට නියමිතය. දශකයකට ආසන්න කාලයකට පසු රාජ්‍ය නායකයෙකු මෙරට උත්තරීතර මන්ත්‍රණ සභාව ඇමතීම දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.