විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ක්‍රියාමාර්ගය නැවැත්වීම සඳහා තම සීමාවන් ඇතුළත ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පවසයි.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම ක්‍රියාමාර්ගය රටට, ජනතාවට මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට සහ අනාගතයට අහිතකර ලෙස බලපාන බවයි. අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳව විශාල සැකයක් මතුවන බවත්, එය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බාධාවක් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඉදිරිපත් වන යෝජනා සහ ප්‍රතිපත්ති තම නීතිමය හා ප්‍රතිපත්තිමය ස්ථාවරයන්ට විරුද්ධ වන්නේ නම්, ඊට එරෙහිව තදින්ම සහ ශක්තිමත්ව සිටගෙන එම ක්‍රියාවන් නැවැත්වීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

මේ අතර දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත්තේ, මගී ප්‍රවාහන සේවයේ ගුණාත්මක පරිවර්තනයක් සිදු කිරීමට මෙට්‍රෝ බස් රථ සේවාව හඳුන්වා දීමට එරෙහිව බස් ගැමුණුගේ ක්‍රියාකලාපය සහ අධිකරණ පද්ධතියේ ගොඩගැසී ඇති නඩු ලක්ෂ 11ක් පමණ විසඳීම වෙනුවෙන් යෝජනා කර තිබෙන සමස්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියගේ හැසිරීම සමාන වී තිබෙන බව ඊයේ (13) මාධ්‍ය හමුවේ ඔහු කළ ප්‍රකාශයෙන් තහවුරු විය.