ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි අනාගත සංවර්ධනය වෙනුවෙන් කොරියානු ජනරජයේ පූර්ණ සහයෝගය සහ අවශ්‍ය ප්‍රදානයන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනී මියෝන් ලී (Miyon Lee) ප්‍රකාශ කළාය. තානාපතිනිය මේ බව සඳහන් කළේ ඊයේ (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ සමීපතම මිත්‍ර රාජ්‍යයක් වන කොරියානු ජනරජය, KOFIH, KOICA සහ EDCF වැනි ජාත්‍යන්තර සහයෝගීතා සංවිධාන හරහා මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ලබා දෙන ප්‍රමුඛ දායකත්වය අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී ඇගයීමට ලක් කළේය. කොරියානු රජය සමඟ සිදු කෙරෙන ව්‍යාපෘති කළමනාකරණය ඉතා කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුක්ත වීම හේතුවෙන් ඉහළ ඵලදායීතාවක් අත්කර ගැනීමට හැකි වී ඇති බවත්, ඉදිරි යෝජිත ව්‍යාපෘති ද එමඟින් සාර්ථක වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දශක ගණනාවක සිට කොරියානු රජය මෙරට සෞඛ්‍ය, අධ්‍යාපන සහ ඩිජිටල්කරණ ක්ෂේත්‍රයන්හි තාක්ෂණික සහ මූල්‍ය සහයෝගීතාව ලබා දෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා, වර්තමානයේ පවතින ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුව සඳහා කොරියාව ලබා දෙන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් රජයේ කෘතඥතාව ද පළ කළේය.

සාකච්ඡාව අතරතුර තානාපතිනී මියෝන් ලී අවධාරණය කළේ, කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම (KOFIH) හරහා ක්‍රියාත්මක වන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව නඟාසිටුවීමේ ව්‍යාපෘතිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. මීට අමතරව, මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගත උන්නතිය උදෙසා වන සැලසුම් සඳහා ද අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට ඇය එකඟතාව පළ කළාය. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස කොරියානු ජාතිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය බවත්, විශේෂයෙන්ම මහනුවර සහ සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන නැරඹීමට ඔවුන් දක්වන උනන්දුව ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා ශක්තිමත් කරන බවත් තානාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන ජනක කිත්සිරි ගුණවර්ධන, සාලින්ද බණ්ඩාර, කේ.පී. යෝගචන්ද්‍ර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්.එල්. හේරත් සහ කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමේ මහලේකම් ක්වාන් බෙක්-බෙක් (Kwan Baek-Baek) ඇතුළු පිරිසක් සහභාගී වූහ.