මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝවක මුස්ලිම් ජාතික පුද්ගලයෙකු විසින් “ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන” බවට සිදු කරන ප්‍රකාශයක් දැඩි කතාබහට ලක්ව තිබේ. දිගු කලක් පැවති ගැටුම්කාරී වාතාවරණයකින් පසු රට තුළ යම් සාමකාමී පරිසරයක් ගොඩනැගෙමින් පවතින මොහොතක, සිංහල හා සෙසු ප්‍රජාවන් අතර අනවශ්‍ය කෝපයක් සහ බෙදීමක් ඇති කිරීමට මෙවැනි ප්‍රකාශ ඉලක්ක කර ඇති බව මගේ පැහැදිලි නිරීක්ෂණයයි.
මෙම ප්‍රකාශය අහම්බෙන් සිදු වූවක්ද, නැතහොත් ඊට යම් දේශපාලන පසුබිමක් තිබේද යන්න සොයා බැලීමට මම 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිල අපේක්ෂක දත්ත සහ 2024 ඔක්තෝබර් 11 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය පරීක්ෂා කළෙමි. එහිදී අනාවරණය වූයේ කැපී පෙනෙන කරුණකි.
සමාජ මාධ්‍යවල පෙනී සිටින පුද්ගලයාගේ රූපයට සහ නමට බෙහෙවින් සමාන මොහොමඩ් ෆසාල් (Mohammad Fazal Nisar) යන නාමය, 2024 මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ (කණ්ණාඩි කුට්ටම ලකුණ) අපේක්ෂක ලැයිස්තුවේ අංක 14 යටතේ සඳහන්ව තිබේ. එම ලැයිස්තුවේම අංක 07 යටතේ නාගානන්ද කොඩිතුවක්කු ද, අංක 17 යටතේ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක හා නායකත්වය දැරූ නීතිඥ මෛත්‍රී ගුණරත්න ද තරග වැදී ඇත.
කුඩා දේශපාලන පක්ෂවලට මැතිවරණයකදී දිස්ත්‍රික් ලැයිස්තු පිරවීම සඳහා අපේක්ෂකයන් විසි දෙදෙනෙකු සොයා ගැනීම පවා අපහසු බව සැබෑවකි. එබැවින් තරග කිරීමට ඉදිරිපත් වූ අයෙකු එලෙස ලැයිස්තුවට ඇතුළත් වූවා මිස පක්ෂ නායකත්වය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඕනෑම අයෙකුට තර්ක කළ හැකිය. නමුත් මෙහි ඇති සැබෑ උත්ප්රාසය මතු වන්නේ පසුගිය වාර්තා දෙස බැලීමේදීය.
පසුගිය වාර්තාවල පෙන්වා දෙන පරිදි, 2017 වසරේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ අමාත්‍යාංශ පරිශ්‍රයට බොදු බල සේනා සංවිධානය ඇතුළු වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේදීත්, 2024 ඔක්තෝබර් මාසයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්‍යානයේ පැවති සත්‍යග්‍රහයට අදාළ නීතිමය කටයුතුවලදීත් ඥානසාර හිමියන් සහ එම පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇත්තේ නීතිඥ මෛත්‍රී ගුණරත්න ය.
නීතිඥවරයෙකුට වෘත්තීය ආචාරධර්ම අනුව ඕනෑම සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය සහ යුතුකම පවතින බව මම පිළිගනිමි. එහෙත් දේශපාලනික වශයෙන් මෙම සිදුවීම් එකිනෙක ගළපා බලන විට මට හැඟෙන්නේ, රටේ සාමකාමී වාතාවරණයක් ඇති වන සෑම අවස්ථාවකම කිසියම් දේශපාලන අවශ්‍යතාවක් වෙනුවෙන් දෙපැත්තෙන්ම අන්තවාදී හඬවල් අවුස්සා ගැනීමේ සැලසුම්සහගත උත්සාහයක් ක්‍රියාත්මක වන බවයි.
එබැවින්, මෙවැනි ප්රකෝපකාරී ප්‍රකාශ දෙස ආවේගයෙන් නොව, ඒවා පිටුපස ඇති දේශපාලන න්‍යාය පත්‍රය හඳුනාගනිමින් බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්වීම පුරවැසියන් සතු වගකීමකි.
සටහන |Sachith Liyanage