යාපනය පලාලි ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස 20ක් ප්‍රතිලාභීන් වෙත ලබාදීම අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම නිවාස ප්‍රතිලාභීන් වෙත ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ දැනට ඉදිකිරීම් සිදුකෙරෙන සියලු නිවාස දෙසැම්බර් 31 වැනිදාට පෙර අවසන් කිරීම අපේක්ෂාව බවයි.

මේ අතර, අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ ඉදිකළ නිවසක් හිමිකරුවන් වෙත භාරදීම නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ සඳහා නිවාස අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 10ක් වැය කර තිබේ.

ත්‍රිකුණාමලය ලිංගනගර් ප්‍රදේශයේ ඉදිකළ නව නිවසක් ප්‍රතිලාභියා වෙත භාරදීම පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න ආධාර මුදලක් ලබාදී ඇත.

“තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ වදුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකෙරුණු නිවාස 7ක් ප්‍රතිලාභීන් වෙත භාරදීම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යු ගමගේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එමෙන්ම උඩුදුම්බර අඩියාදෙණිය ප්‍රදේශයේ නව නිවාස 8ක් ඉදිකර ගැනීම සඳහා මූල්‍යාධාර ප්‍රදානය මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, දිට්වාවෙන් ආපදාවට පත්වූ පවුල් කිහිපයක් සඳහා මෙලෙස මූල්‍යාධාර ප්‍රදානය කර තිබේ. මෙම වැඩසටහන යටතේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණයට ද දිස්ත්‍රික් ලේකම්වරයා එක් විය.